ගමක් කියන්නෙ ගමක්මයි. මට හිතෙන්නෙ ඒක ඒ වගේ මේ වගේ කියලා විස්තර කරන්න බැරි හැඟීමක් කියලමයි. එය එලෙසින්ම විඳිය යුතු දැනීමක්මයි.
රතු රෝස නෙළුම් පිරුණු වැව, පෙනෙන මානයක් වෙනකන් කොළ පාට වුණු වෙල් යාය, යායටම වතුර ගෙනියන ඇළ මඟ, එහෙ මෙහෙ දගලන දණ්ඩි, උන් ඩැහැගන්න එන නානාප්‍රකාර කුරුලු ජාති වගේ සුන්දර යැයි කියන දේම විතරක් නෙවෙයි,
වළ ගැහුණු ගල් බොරළු පාර, ඒ මැදින් භූමිතෙල් කාලක් හැන්ඩ්ල් එකේ එල්ලගෙන අමාරුවෙන් බයිසිකලේ පාගන වයසක උදවිය, ගරා වැටුණු බිත්ති, වැටෙන්න ඔන්න මෙන්න පොල් අතු වහල, ගිනි අව්වේ කොහේ හරි දුවන හඩු ඇඳගත්ත පොඩි එවුන්….!
වඳ, වරා පිපුණු කවුරුවත් නැති පාළු අතුරු පාරක ඔහේ ඇවිදන් යද්දි එක සැරේටම ළඟ දිය වළ හෙලවිලා ගියා. මම ගැස්සිලා බැලුවම, දැක්කම බය හිතෙන අලි සයිස් කබරයෙක් පාර හරහා එන්න එනවා. මං අනිත් පැත්ත හැරිලා ඉක්මනට එද්දි වී ගොඩාක් පටව ගත්ත ලොකු ට්‍රැක්ටර් එකක් එනවා. මට “අම්මෝ ඇති ” කියන සැනසිලිදායක හැඟීමක් ආවා.
ඇත්තටම ගමක් කියන්නේ ලස්සනම ලස්සන තැනක් නෙවෙයි. දුක්ඛිත, බය හිතෙන, ගුප්ත ඇතුළාන්තයක් ලස්සනම දේවල් වලින් ඔතලා වගෙයි. මට හිතෙන්නෙ ගැමියො රිදෙන දේවල් ගොඩාක් මැද එක දෙයකින් ගොඩාක් සතුටු වෙනවා වගෙයි.
මිනිස්සු ආස ලස්සනම දේවල්වලට විතරක් නෙවෙයි. අමාරුම අමාරු දේවල් ලස්සනක් එක්ක කරන්න කැමති නිසාද මන්දා මේ හැඟීම එලෙසින්ම වින්ඳ මිනිස්සු මුහුදෙන් එතෙරට ගියත් මේ හැඟීමට ආදරෙයි! මාර ආදරෙයි!
“ගමේ යන්න තිබ්බනම් ” මොන හේතුවකට හරි අපි හැමෝටම හිතෙන්නෙම එහෙමයි!
By Leo Aruni Thennakoon