පුංචි රෝස් බෙල් කැලෑ ගමේ ඉන්න සුරංගනාවියක්. එයා බොහොම කරුණාවයි. කුරුල්ලන්ට, මී ඇත්තන්ට, ලේන් අප්පුලාට, හා හාමිලාට, ගෙඹිත්තන්ට එයා හරිම ආදරෙයි. එයා කුරුල්ලන්ට අලුත් සිංදු කියා දෙනවා. මී පුංචන්ට ඇඳුම් මහලා දෙනවා. හා හාමිලට අලුත් නැටුම් කියා දෙනවා. ලේන් අප්පුලට රසම බෙරි තියෙන තැන් කියා දෙනවා. හැමදාම හවසට විල ගාව ගල් පොත්තකට වෙලා ගෙඹි පවුලෙ සුවදුක් අහනවා. නැත්නම් හැමෝම වටකර ගෙන කතන්දර කියා දෙනවා. ඊයෙ උදේ ඉඳන් රෝස් බෙල් පේන්නවත් නැහැ. දවස පුරාම හචිස් හචිස් සද්දයක් රෝස් බෙල්ගෙ බිම්මල් ගේ ඇතුලෙන් එන්න ගත්තම හැමෝම විපරම් කළා. රෝස් බෙල්ට හෙම්බිරිස්සාවක් හැදිලා. අත්තටු මලානික වෙලා. රෝස පාට කම්මුල් සුදුමැලි වෙලා. ඉතිං හැමෝම දුවගෙන ආවෙ රෝස් බෙල්ගෙ සුවදුක් බලන්න. ගෙඹි රාල මුළු පවුල පිටින් ආවෙ රෝස් බෙල්ව බලන්න ආවෙ එයා ආසම පලතුරු අරගෙන. මී හාමිනේ රෝස් බෙල්ගෙ ගෙදර පුංචිම දූවිලි කැටයක්වත් නැති වෙන්න සුද්ද කළා. ජනෙල් රෙදිත් හේදුවා. ඒ අතරෙ මී රාල කැලෑව කෙළවරේ උන්නු පුංචි මායාකාරි, සෙලෙස්ටි හම්බ වෙන්න ගියා. සුරංගනාවියන්ට බෙහෙත් දෙන්න දන්නෙ එයානෙ. මී රාල ඉල්ලන් ආපු බෙහෙත් මල් පැණි එක්ක මුහු කරල රෝස් බෙල්ට පෙව්වෙ කුරුල්ලො. ලේන් අප්පුල එකතු වෙලා රෝස් බෙල් ආසම විදියෙ රෝස මල් අහුරක්ම ගිහින් දුන්නා. රෝස් බෙල් ඒ වගේ සුවඳ බලන අතරෙ කුරුල්ලො කියපු සිංදුවට හා පැටවු නැටුමක් නැටුවා. එදා රෑ රෝස් බෙල්ව බලා ගන්න මී හාමිනේ ලේන් අප්පු එක්ක ඒ පුංචි බිම්මල් ගෙදර නතර වුණා. රෝස් බෙල් අසනීප වෙච්චි එකට හැමෝම හිටියෙ දුකින්. ඒත් හැමෝගෙම ආදරේට පිං සිද්ද වෙන්න පහුවදා වෙද්දී එයාට සනීප වෙලා තිබුණා. අත්තටු ආයෙම දිලිසෙනවා. කම්මුල් ලස්සන රෝස පාටයි. රෝස් බෙල් හැමෝටම ස්තුති කළේ හාද්දකුත් දීලමයි.
By Leo Ashani Imalka