මනුෂ්‍යත්වයේ දෑත

එදින ඉරු දිනයක් වූයෙන් සියලු වැඩ අවසන් කර ජනේලයෙන් එහා පෙනෙන ඉමක් කොනක් නොපෙනෙන මුහුද දෙසට මා පිය නැගුවේ නිදහස ලද කිරිල්ලියක් මෙනි. සුසිනිඳු වැලි කැට අතරින් නග්න දෙපතුල් තබමින් ඉදිරියට පා නගද්දී හිතට මෙන්ම ගතට දැනුනේ අමුතු ම ප්‍රබෝදයකි.

විටින් විට අවුත් දෙපා සිප ගන්නා සුදෝ සුදු පෙණ කැටි අතර තනි වෙමින් සිටි මා පියවි සිහියට ආවේ   “මෙන්න අපේ  ටීචත් රැල්ල පාගන්න ඇවිත්” ලෙසින් පොලිතීන් කවරයකින් සෑදූ සරුංගලයක් අතින් ගත් පුංචි කොලුවෙකු කෑගසමින් එතනින් ගිය විට ය. ඔහු එසේ කෑ ගැසුවේ වෙරලේ සිටි සියලු දෙනාට ම මා පැමිණි බැව් සැල කිරීමට මෙනි. 

“මෙහෙ එවුන් ඔහොම තමා නෝනේ. වෙලාවක් කලාවක් නෑ, බැලුවොත් කට්ටි ගැහිලා සෙල්ලම” යැයි විඩාබර මුහුණකින් තම රාජකාරි අවසන් කර බෝට්ටුුව ගොඩබිම දෙසට තල්ලු කරමින් සිටි මිනිසෙක් පැවසුවේ ය. 

“නිදහසත් ඕනි ඉතිං ළමයින්ට” මම පැවසුවේ සිනහසෙමිනි.

“නිදහස වැඩි වෙලා තියෙන්නෙ මිස්” යැයි සියල්ලෝ ම සිනහ සාගරයේ ගිල්වමින් කී තව අයෙක් මාළු අස්වැන්න ද රැගෙන සමුගෙන ගියේ ය.

මම ද අසල වූ ගල් පරයක් මත හිඳගෙන බැස යන හිරු මුහුද නැමැති සිතුවම් පොතෙහි විචිත්‍රවත් රටා මවන අයුරු බලමින් මාගේ නවතම නිසඳැසට පද අමුණමින් සිටියෙමි.

ආච්චියේ ! ආච්චියේ !

රළ බි‍ඳෙන මහා හඬටත් නොදෙවෙනි ව මා දුටු විගස යමක් සිහි වූවා සේ උස් හඬින් කෑ ගසමින් වෙරල කොන වූ පුංචි ලෑලි නිවස අසළ නැවතුනේ සරුංගලය අතැති ව කෑ ගසාගෙන ගිය ළමයා බව මම විගසින් හඳුනා ගතිමි.

“මොක ද බොල බෙරිහන් දෙන්නෙ. තාම මයෙ කං හොඳට ඇහෙනව”

එසේ  පවසමින් හිසට රෙදි කඩක් ඔතාගත් අව පැහැ ගැන් වී තිබූ රෙද්දකින් සහ හැට්ටයකින් සැරසි හැත්තෑව ඉක්ම වූ පෙනුමකින් යුත් මහලු කාන්තාවක් එළියට පැමිණ ඇන තබාගෙන මුහුණ දෙස බලා සිටියා ය.

“හෙට එද්දි දෙදහක් ගේන්න කිව්ව”

“අර මොකට ද ?” ඈ අසන්නේ ඈත මුහුද දෙස බලාගෙන සිය අතැඟිලි තම හිසකෙස් අතර එහෙ මෙහෙ යවමිනි.

” කොන්සර්ට් එකේ ඇඳුමට ” 

“ඇයි බං උඹ කිව්වෙ නැද්ද, උඹ ළඟ සීයා කොළඹින්  ගෙනත් දීපු අලුත් සූට් එකක් තියෙනව කියල.”

“ඒ කමිස කෑලි හරි යන්නෙ නෑ ආච්චියේ”

” අනේ මට ඔව්වා තේරෙන්නේ නෑ බං. සීයා ආවහම කියල බලාපංකො”

රැළි වැටුණ කම්මුල් දිගේ තරඟයට මෙන් පහළට ගමන් කරන දහඩිය බිඳු වෙව්ලන දෑතින් යුතු ව පිස දැමූ ඈ හිස් අහස දෙස නෙත් යොමු කළේ `තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙන් එක් දෙවියෙක් හරි අපේ දුක බලත්වා´ ලෙසින් මුමුණමිනි.

තවදුරටත් සංවාදය නොඇසුණා සේ සිටිය නොහැකි වූ බැවින් මම එතැනින් නැගිට ටකරං සෙවිලි කළ කුඩා ලෑලි නිවස දෙසට පිය නැගුවෙමි. මා දුටු විගස “කොල්ලෝ, ආං අර කවුද එන්නෙ බලාපං” කී ඇය උළුවස්සට වාරු වී බුලත් කහට බැඳි ඉතිරි වූ දසන් විහිදා අහිංසක සිනහවක් පෑවා ය.

“මම මෙහෙ ඉස්කෝලෙට අලුතින් ආවේ” මම කතාවට මුල පිරුවෙමි.

“අනේ මට නිච්චියක් නෑ නෝනේ, මෙහෙට ඉතිං අලුත් නෝනල එනව. උන්නු ගමන් දන්නෙත් නෑ ගිහිං නොවැ”

කැලේ මල් කැලේ ම පර නොවී මුළු ලොව ම සුවඳවත් කරන  මල් ලෙස පුබුදුවන්නට නම් මෙවන් අති දුෂ්කර පළාත්හි සේවය කිරීමට පරාර්ථකාමී ගුරුවරුන් අවැසි බැව් ඒ කතාවෙන් මට හැඟිණ.

“ඔයාගෙ නම මොකද්ද? “

“පසිඳු”

” කීය වසරෙ ද ? “

“හතරේ”

“පසිඳු විතර ද මෙහෙ ඉන්නෙ? “

“ඔව් නෝනා. කොල්ලගෙ අම්මා මේ කිරිසප්පයට තුන් මාසයක් පිරෙන්න කලියෙං සල්ලි හම්බ කොරන්න ඒරොප්පෙ ගියා. ගියත් ගියාම යි ආවේ නෑ ඔහෙ. එහේ සුද්දෙක් එක්ක පවුල් උනා කියල ලියුම් කඩදහියක් එවල තිබුණා. කොහෙද ඉතිං ඒකි මං කියන එකක් ඇහුවැ”

මෙතෙක් වේලා සිර කරගෙන සිටි දෑස් අග කඳුළු බිඳු චීත්තයෙන් පිස දමා ඈත මුහුද දෙස බලාගෙන මට එකදු වචනයක් හෝ පැවසීමට නොදී ඇය ඇ‍ගේ කතාව ඉදිරියට ගෙන ගියා ය.

“කොල්ලගේ මහ එකත් දියඹෙදි බෝට්ටුව පෙරළිලා මළා. දැං අවුරුද්දක් විතර මයෙ හිතේ. මාත් ළඟක් වෙනකන් වාඩියෙ කරවල වේලුවා. දැං මද්දහනේ ඕවගෙ ඔට්ටු වෙන්න වාරු නෑ නෝනේ. කොල්ලගේ සීයා තමා මුහුදු ගිහිං කීයක් හරි හම්බ කොරගෙන එන්නෙ.”

සාවධාන ව  ඇගේ කතාව අසාගෙන සිටි මම ඈ අස්වසා ඇගේ මුණුපුරා සමඟ කතා කරන්නට පටන් ගතිමි.

“පසිඳු ඉස්කෝලේ කොන්සර්ට් එකේ ඉන්නව ද?”

“ඔව් ටීචර්. සින්දු කියන්නයි නිවේදන කරන්නයි ඉන්නවා”

“ෂා… හොඳයිනේ. “

“කොල්ලා දස්සයා නෝනේ. සහතික මිටියක් ම තියෙනව සින්දු කියල දිනලා. දෙයියන්ගෙ පිහිටෙන් පාඩම් වැඩත් ඔක්කොම පාස් වෙනවා හැම විබාගෙන් ම”

“හ්ම්ම්. හොඳ පුතා. පසිඳු, ඔයා ඔයාගේ නමේ තේරුම දන්නව ද?”

“නෑනේ ටීචර්”

“පසිඳු කියන්නේ මුළු ලෝකෙ ම ප්‍රසිද්ධයි කියන එක. ඒ නිසා ඔයාගේ දක්ෂතාවලින් මුළු ලෝකෙ ම දන්න කෙනෙක් වෙන්න හිතට ගන්න ඕනි. හොඳ ද පසිඳු? “

“හරි ටීචර්.”

“නෝනෙට පිං නොනේ. මේ වගේ අහිංසක කොල්ලොන්ගෙ ඇස් පාදනවට. අදත් ඔන්න කීයක්දෝ ඉල්ල ඉල්ල හිටියෙ ඔය වැඩවලට. කොහෙ තියෙන සල්ලියක් ද නෝනේ. ඒත් ඉතිං කරබාගෙන කණකර හරි උගසට තියල කොල්ලට වියදම් කරන්නෙ මේ මුහුදෙන් එහා ලෝකයක් තියෙනවාය කියල මේ කොල්ලට පෙන්නන්න නෝනේ. අපෙ ඇස් පියවෙන්න කලියෙං මේ කොල්ල ලොකු මහත්තයෙක් වෙනව … “

“මැගිලින් අක්කේ! මැගිලින් අක්කේ!” 

මිත්තණියගේ කතාවට බාධා කරමින් පැමිණි මැදිවියේ පුද්ගලයෙක් තැතිගත් ස්වරූපයෙන් ලෑලි නිවස අසළ නැවතුනේ ය.

“ඒ පාර මොක ද සීමන් මලයෝ. ආයෙත් වාඩියට හොරු පැනලවත් ද? “

“එහෙම කෙහෙම්මලක් නෙවේ අප්පා. අපෙ විජෙයයියා … “

“කියන හරුපයක් තේරෙන්න කියාපංකො බං. මයෙ මිනිහා ඉතිං ? “

“විජෙ… විජෙයයියා … පෙට්ට්‍රෝල් පෝලිමේ දී … මැරිල වැටිල ලූ.”

“අනේ දෙයිහාමුදුරුවනේ. මයෙ මනුස්සයා! “

“ආච්චි අම්මේ…!!! “

* * * * * * * * * * *

“අස්ථීර දිවියෙහි හුදෙකලාව නම් භයංකර රිදුමෙන් මා ගලවා ගනිමින්, අමාරු ම සෘතුවල කඳුළු අතරින් සිනාසෙන්නට කියා දෙමින්, මාගේ දිවියේ හුස්ම වී සවිය දුන්, නුඹ ම විය මගේ දිවියෙහි දෙවඟන.”

අතුරු සිදුරු නොමැති ව පිරි තිබූ ප්‍රේක්ෂකාගාරයට  මයික්‍රෆෝනයක් අතැති ව පැමිණි ඒ කඩවසම් තරුණයා පැවසූ ඒ හැඟුම්බර වදනට ලැබුණු අත්පොලසන් නාදය හේතුවෙන් විසිපස් වසරක අතීතයෙන් මම වර්තමානයට පිය නැඟුවෙමි.

මෙවන් සුවිසල් ප්‍රේක්ෂකාගාරයක ගීත ගයන මේ සුප්‍රසිද්ධ ගායන තරුව අන් කවරෙකු නොව, සීයාගේ සහ ආච්චිගේ අකල් මරණයෙන් පසු මාගේ සෙවණේ හැදී වැඩුණ `පසිඳු තීක්ෂණ´ ය. සෑම ප්‍රසංගයක ම ගීත ගැයීමට පෙර මෙලෙස මාහට උපහාර පුදන්නේ ඔහුගේ වැඩූ මව මා බැව් පවසමිනි.

බාධා කම්කටොලු මතින් දිවෙන ´ජීවිතය` නැමැති අස්ථීර නවාතැනෙහි, උපත සහ මරණය අතර වූ මේ කෙටි පරිච්ඡේදයේ දී, සරණක් අවැසි අසරණ හිතකට ධෛර්ය ලබා දෙමින්, අවසන් හුස්ම තෙක් ජීවිතය විඳින්නට කියා දෙන්නට හැකි නම්, ඔහුට හෝ ඇයට මනුෂ්‍යත්වය පිරි සොඳුරු පුද්ගලයෙකු විය හැකි බැව් මම තරයේ විශ්වාස කරමි.

නිමි.

වික්ෂි කළනි නිනේත්‍රා

Scroll to Top