කොටුවීම

සහෝදර සහෝදරියන් නොමැතිව මුළු නිවසම තම ආධිපත්‍යයට ගෙන බෙදන් කෑම පිළිබඳ හැඟීමක් නැතිව බදන් කෑමට හුරු පුරුදු වී සිටි මගේ ගතිගුණ මටත් නොදැනීම බිඳෙන් බිඳ වෙනස් වීමට ආරම්භ වූයේ මා පෙර පාසලේ ළමා රොත්ත සමඟ කාලය ගෙවීමට පටන්ගත්දා සිට ය. වයසින් සමාන වුවද එහි සිටි ඇතැම් ළමුන් මට යෝධයන් මෙන් පෙනෙන්නට විය. සමහර ළමුන් කුඩා ලිලිපුට්ලා මෙන් දිස් විය. ඔවුන් තැන තැන ඇවිද සෙල්ලම් කිරීමේ දී මා නිතර දෙවේලේ දැක ඇති නිදිකුම්බා පැළවලට පණ ආවාක් සේ දිස් වේ. මගේ තරමට උස ඇති ළමුන්ද විය. මම ඔවුන් සමඟ කතා බහ කරමින් මිත්‍ර වුණෙමි. මිත්‍රත්වය පිළිබඳ මට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු වූයේ ඔවුන් සමඟ ආහාර බෙදා ගැනීමේදී ය. කෙසේ වෙතත් මෙයටද මම ක්‍රමානුකූලව හුරු පුරුදු වුණෙමි. පෙර පාසල් සමයේ කිසිදු විශේෂයකින් තොරව ගත වුණු අතර පෙර පාසල් අවසන් විවිධ ප්‍රසංගයේදී එක එක ඇඳුම් හැඳ නටන්නට සිදුවන බව ඇසීමෙන් මම මහත් කම්පාවට පත් වුණෙමි. ළමයින් රොත්තක් සමග නටන්නට සිදුවීම හුදකලාව බෙහෙවින් ප්‍රිය කළ මට එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයක් වැන්න. විරුද්ධත්වයක් නොපා ළමා රොත්තේ කොනකට වෙමින් මට මතක සැටියට නටා අවසන් කළෙමි. දෙමව්පියන් හා ගුරුවරුන් ඉහවහා ගිය සන්තෝසයෙන් අත්පුඩි ගසා අප ප්‍රශංසාවට බඳුන් කළ බව මගේ සිහියේ ශේෂ වී ඇත. වසරක් පමණ පෙර පාසල් ගිය මට ඊළඟට යාමට සිදුවූයේ පාසලට ය.

අකුරු ඉගෙනීමත්, එක එක රවුම් කොටු බෝල ඇඳ පාට කිරීමටත් වඩා සංකීර්ණ අධ්‍යාපන රටාවකට කොටු වූ මා විවිධ කැමති අකමැති විෂය ක්ෂේත්‍රයන්හි අඩංගු කරුණු කෙටි සටහන් කරගැනීමටත්, කටපාඩම් කරගැනීමටත් පුරුදු වුණෙමි. ශිෂ්‍යත්ව විභාගයට අවැසි සියලු කරුණු කාරණා හොඳින් ධාරණය කරවූ මගේ මොළය විභාගයේ දී හොඳින් ක්‍රියාත්මක වූ බව පසක් වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ය. පසුව හොඳ යැයි සම්මත පාසලකට ඇතුළත් කෙරූ මම සියල්ල හරි යැයි ආටෝප කරගන්නා ලද ගර්වයකින් ඉපිලී ගියෙමි. සති කීපයක ඇවෑමෙන් සියල්ල හරි යැයි සිතීම වැරදි බව සනාථ කරමින් මගේ සම්පූර්ණ නමෙහි ඇති අකුරු ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවක පෙළපොත් ලැබුණි. ඒවා ඉගෙනීම කෙසේ වෙතත් නිවසේ සිට පාසලට ගෙනඒමට මගේ පිටකොන්ද දැරූ අතිමහත් ප්‍රයත්නය පිළිබඳ සිහි කැඳවීමේ දී මගේ දෑසෙහි කොහෙන්දෝ නොදන්නා පළාතක සිට අනවසරයෙන් පැමිණෙන කඳුළු බිඳක් ලැගුම්ගනියි. කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට කොටු වෙමින් විෂයන්වලට මාරු වූ මගේ ඔළුවට වඩා වමත බර වූයේ විෂයට අදාළ සටහන් පොත්වල ලිවීමෙනි. ඉතා වේගයෙන් ලිවීමට නොහැකි වූ මගේ ලිවීමේ රටාවට වඩා ගොළුබෙල්ලන්ගේ ගමන් රටාව වේගවත් බව මම සහතික කොට කියමි. වාර විභාග කාලයේ දී හැකි උපරිමයෙන් වේගයෙන් ලියන මා විභාග කාලය අවසානයේ දී පෑනට බර දුන් මගේ වමත දෙස බලන්නේ අනුකම්පාවෙනි. 

ලිවීමට මෙන්ම කෑම ගැනීමටද මට උපකාර වූයේ වමතයි. මෙය මගේ  පන්තිභාර ගුරුතුමියකට දැඩි ප්‍රශ්නයක් වූ බැවින් ඇය මා කැඳවා උපදෙස් දුන්නේ ගැහැනු ළමෙකු නිසා වමතින් ආහාර නොගෙන දකුණතින් ආහාර ගැනීමට පුරුදු වන ලෙසය. එදින බුද්ධධර්මය කාලච්ඡේදයේදී ඉගැන්වූ සිඟාලෝවාද සූත්‍රය නිසා මහත් පීඩනයෙන් ඇය කී දේ අසා සිටි මා හිස සෙලවූයේ හොඳ දෙකක් කීමට තිබූ නොහැකියාව හේතුවෙන් මා සමඟම කෝප ගනිමිනි. වමතෙන් කෑමත්, ගැහැනු ළමයාත් අතර කුමන ආකාරයේ සම්බන්ධයක් තිබේද කියා මට නොවැටහුණ අතර මේ සිදුවීමට සමකාලීනව කට හැකර සිසුවියක් 

“අපෝ. ඔයා කන්නෙත් ඔය අතින්ද ඊයා…”

කියා පැවසූ විට වමතින්ම ඉඳුල් පිටින් ඇගේ කම්මුලට පහරක් ගැසීමට තිබූ බලවත් ආශාව මැඩ ගනිමින් අපහසුවෙන් සිනහවක් නඟා ගත් මා තරමක් සන්සුන් වූයේ මගේ මිතුරිය ඒ කට හැකරිට කනේ ඇඟිලි ගසාගන්නටම වාග් ප්‍රහාර එල්ල කළ බැවිනි. වමතින් ආහාර ගැනීම මෙතරම් ගැටලුවක් වූයේ දකුණතින් ආහාර ගන්නා අය අතර මා කැපී පෙනීම බව මම පසුව තේරුම් ගතිමි. 

මේ සියලු සිද්ධීන් මධ්‍යයේ ඇරඹි සාමාන්‍ය පෙළ නමේ හැටියට සාමාන්‍යම නොවූ බව මට තේරුම් ගියේ අසාමාන්‍ය ලෙස මා විභාගය සමත් වීම නිසා ය. ඉන්පසු උසස් පෙළ කිරීමට තවත් අවුරුදු තුනක් පමණ කොටු වී සිටි මට හැඟුණේ අන් අයගේ උවමනාවට ඔහේ නැටවෙන රූකඩයෙක් බව ය. එහෙත් රැහැන් කපා නිදහස් තැනක වල්මත් වීමට තරම් එඩිතර සිතක්ද මා සතු නොවුණි. මා නිදහසේ සිටියද මා වටා අදෘශ්‍යමාන කූඩුවක් හෝ හස්තයක් වැනි යමක් තිබේදැයි සාංකාවෙන් පසු වුණෙමි. එනමුත්, උසස් පෙළ විෂයන් මට සාංකා වීමට තරම් කාලයක් නුදුන් බැවින් ඒවායෙහි කාර්යබහුල වුණෙමි. උසස් පෙළද සමත් වී විශ්වවිද්‍යාලයට ඒමට හැකි වීම පිළිබඳ මට තවමත් ඇත්තේ නොපැහැදිලි හැඟීමකි. ඉතා උසින් හා ශක්තිමත් කඳින් සමන්විත වෘක්ෂ රාශියකින් වැසුණු මහා වනාන්තරයක කෑලි කැපිය හැකි කළුවර රාත්‍රියක අතරමං වී සිටින්නෙකු මෙන් හැඟී ගිය විශ්වවිද්‍යාලයීය ජීවිතය ද අවසන් වීමෙන් අනතුරුව ගැහැනු ළමයෙකුගේ නිවසකින් ඇසෙන සුපුරුදු අඳෝනාවෙන් මගේ නිවසද  අතුරු සිදුරු නැතිව පිරෙන්නට පටන්ගත්තේ මගේ දෙකන් පුපුරා යන තරම් ශබ්දයකිනි. 

“දැන් ඉතිං බඳින වයස පහුවෙලා.. ඉක්මනට කසාද බන්ඳන්න තියෙන්නෙ.”

අත්තම්මලාගේ එකම රාජකාරිය තම මිණිපිරියන් විවාහ කරදී නිවසින් පිටකර යැවීමද සිතෙන තරමට ඇගේ දෙඩවිල්ල නිමක් නොවීය. කලකිරුණු දෑසකින් සහ වෙහෙසට පත් මනසකින් මගේ විසිඅට හැවිරිදි අසරණ ආත්මය දෙස මා බලාසිටියේ කැඩපත මගිනි. මගේ දෑස ඉතාම මහලු ජරාජීර්ණ මැහැල්ලියකගේ දෑසකට සමාන විය. බරපතල රෝගයකින් දිගුකාලීනව පීඩා විඳි එකෙකු මෙන් මගේ හදවතද බිමට වැටී කැබලිවලට කැඩී යාමට ආසන්න විය. අහම්බයකින් හෝ මගේ හදවත එළියට පැන බිමට වැටී තියේනම් කුඩා බිළිඳෙකුගේ සිනිඳු දෙපයේ පහස ලැබීමෙන් වුව එය පොඩිපට්ටම් වී කැඩී යනු ඇත. කැඩපත ඉදිරියේ සිට බොහෝ වේලාවක් මාද දෙසම බලා සිටි මම ගෙවී ගිය ජීවිතය පිළිබඳ මතක එකින් එක සිතෙහි චිත්‍රණය වීමට ඉඩ හැරියෙමි. සෑම චිත්‍රයක්ම කාගෙදෝ උවමනාවට පාට ගා, කාගෙදෝ කැමැත්තකට අවසන් කර තබා, බලෙන් වාගේ මා ඒවාට කොටු කර තබා ඇති සෙයක් මට දැනුණි. නිදහස යැයි මා වරදවා වටහා ගෙන භාවිත කර තිබූයේ නින්දාසහගත ආකාරයේ කොටුවක් බව මට මඳින් මඳ වැටහුණි. වසර විසි අටක් නිෂ්ඵලව ගෙවා දමා ඇති බව හැඟුණු මම එක් දිනක් හෝ ඵලදායීව ගෙවීමට ආශා කළෙමි. එහෙත් කුමක් කළ යුතුද කොහෙන් ආරම්භ කළ යුතුද යන්න කල්පනා කිරීමට පටන්ගත් මා තවමත් කැඩපත ඉදිරියේ සිටගෙන මගේ වෙහෙසකර දෑස දෙස උනන්දුවෙන් බලා සිටියේ අපේක්ෂාවක සේයාවක් හෝ දිස්වේදැයි සැකමුසු විශ්වාසයෙනි.

සඳුපමා එදිරිසිංහ

Scroll to Top