කැඩුණු තෑග්ග

උදෑසන අවදි වී පාසල් යාමට සූදානම් වීම එක්තරා ආකාරයක බිහිසුණු අත්දැකීමක් වූයේ මා ගොළුබෙල්ලෙකු තරම් සෙමින් වැඩ කරන නිසාය. අම්මා පවසන පරිදි  දවසේ පැය විසිහතරට තවත් පැය කීපයක් මා වෙනුවෙන් කවුරුන් හෝ එක්කළ යුතුය. කෙසේ වුවද එදින උදෑසන වෙනදා අවදිවනවාට වඩා වේලාසනින් අවදි වූයේ මගේ හොඳම මිතුරියට උපන්දින තෑග්ගක් මිලදී ගැනීමටය. පාසල් යාමට පෙර තෑග්ගක් මිලට ගත් මා එය පියා අත නැවත නිවසට යැවූයේ ඇගේ උපන්දිනය සඳුදා දිනයට යෙදී තිබූ බැවිනි. කාර්යබහුල සිකුරාදාවක් වූ අද දිනයේ පාසල් අවසන් වීමෙන් පසු පැවැත්වෙන අමතර පන්ති හේතුවෙන් අපට හුස්මක් කටක් ගැනීමට ඉඩ ප්‍රස්තාව නොලැබෙන බව අප සියලුදෙනා අත්දැකීමෙන් දන්නෙමු. නානාප්‍රකාර විෂය කරුණුවලින් හිස පුරවාගන්නා අපගේ හිස් හොඳින් සබන් ගා සෝදාගත්තද පටවන ලද අසීමිත බරෙන් නිදහසක්නම් නොවීය. හෝරා තුනක් මුළුල්ලේ නිව්ටන්ගේ නියම තුළත් පරිධිය වටාත් භ්‍රමණය වෙමින් සිටි අප ධම්මපද ගාථා කීපයකින් සන්සුන් කොට නිවෙස් වෙත එවන ලදි. පැමිණි වහාම නැවුම් ආහාරවල නැවුම් සුවඳ ආඝ්‍රාණය කිරීමෙන්ද ආහාර දැකීමේ ප්‍රීතිය මුල්කොටගෙනද හිස  නිදහස් කරගත් මම පාසලේ උදේ සිට සවස් කාලය දක්වා සිදුවූ සියලු විස්තර උසාවියක සාක්ෂිකාරයෙකු පරිද්දෙන් මාපියන් ඉදිරිපිට දිගහැරියෙමි. මගේ දීර්ඝ විස්තරකිරීමෙන් වෙහෙසට පත්ව සිටි තාත්තා,

“දුව, යාළුවට ගත්තු තෑග්ග අම්මට පෙන්නන්නෙ නැද්ද?”

තාත්තාගේ සිහි කැඳවීමෙන් මගේ දිගු විස්තරකිරීමට මඳ විරාමයක් ලැබුණි. ඒ විවේක කාලයේ දී මා විසින්  ගෙන එන ලද තෑග්ග   අම්මාගේ තියුණු නිරීක්ෂණයට බඳුන්වීමෙන් අනතුරුව දෑස සිහින් කොට සිනාවකින්  සංග්‍රහ කළ අම්මා මෙසේ පැවසුවා ය.

“හරිම ලස්සනයි. ඒත් බබා වීදුරු නිසා පරිස්සමට. කැඩෙන්න බිඳෙන්න පුළුවන්…”

“හරි අම්මා.”

මම පරිස්සමට එය මගේ කාමරයේ ඇඳ මත තබා රාත්‍රි ආහාරය භුක්ති විඳීමට පැමිණියෙමි. ගමේ ඕපාදූප සහ ආරංචි රැගෙන එන දූතිකාව වූ පුංචි අත්තම්මා දහවල් කාලයේ නිවසට ගොඩ වී අම්මා සමඟ පැවසූ විස්තරවල අග මුල ගළපමින් නැවත අපට ඉදිරිපත් කරන අම්මාගේ ස්වරය උදෑසන කාලයේ කෑ ගාන දෙමලිච්චෙකුගේ ස්වරයට සමාන විය. මාත් තාත්තාත් ඇස්වලින් ඉඟි කරමින් අම්මාගේ කතාවලට හූමිටි තබමින් කෑම කෑවෙමු. රාත්‍රි ආහාර මේසය සිනා හඬින් ඒකාලෝක විය. පුංචි අත්තම්මා නිතර දෙවේලේ පැමිණෙන්නෙකු නොවේ. ඇය පැමිණෙනවා නම් අනිවාර්යයෙන් ඇයගේ දෙතොලේ එළියට පැමිණීමට පොපියන ආරංචියක් සතු ය. එම ආරංචි කුළුදුලේ දැනගන්නේ අපේ අම්මා ය. එනිසා ඇය පැමිණි දිනයට අප නිවස ජාතික ප්‍රවෘත්ති නාලිකාවකට යැවීමට තරම් මහා තොරතුරු ගොන්නකින් සංගෘහිත ය. 

රෑ කෑමවේල නිමාවෙන් ඉක්මනින් කාමරයට පැමිණි මම නිදාගැනීමට අසාර්ථක වෑයමක යෙදුණෙමි. මගේ මිතුරියට ගත් තෑග්ග වීදුරුවලින් සාදන ලද යුනිකෝන් අශ්ව පිළිරුවකි. මගේ මිතුරිය තුළ යුනිකෝන් අශ්වයන් කෙරෙහි ඇත්තේ නොසන්සිඳෙන ආශාවකි. එබැවින් මෙය මිලට ගැනීමට මම තීරණය කළෙමි. මෙම යුනිකෝන් අශ්වයාගේ වීදුරු බෝල දෑස මදෙස එක එල්ලේ බලාසිටියේ “ඔයා මාව පැක් කරන්නැද්ද?”කියා අසන්නාක් මෙනි. නොඑන නින්දක් වෙනුවෙන් ප්‍රයත්න දරමින් සිටි මම හෙණයක් ගැහුවාක් මෙන් නැගී සිට මෙම වීදුරු අශ්ව යාළුවා ආවරණය කොට තෑගි පෙට්ටියට දැමීමට අදහස් කළෙමි. ඉතා ප්‍රවේසමෙන් වීදුරු යුනිකෝන් අශ්වයා ඇල්ලූ මම එය මා විසින් මිලට ගත් තෑගි කොළයෙන් ආවරණය කොට එතීමට පටන්ගත්තෙමි. යුනිකෝන් අශ්වයාගේ හිසෙන් අල්ලා එම කාර්යය කිරීමට වෑයම් කළ මම වැරදීමකින් අශ්වයා බිමට අතහැරියේ අම්මා මීට හෝරා කීපයකට පෙර කියූ කතාව සනාථ කරමිනි. මහ රාත්‍රියේ මහ හඬින් කෑගැසූ මම කඳුළු පිරි දෙනෙතින් බිමට වැටී කෑලි කෑලිවලට බිඳී ගිය වීදුරු යුනිකෝන් අශ්වයා දෙස භීතියෙන් බලා සිටියෙමි.

මගේ කෑගැසීමෙන් බියට පත් වූ අම්මාත් තාත්තාත් කාමරයට පැමිණ වීදුරු කැබැලි අහුලා මා සැනසීමට නිශ්ඵල ප්‍රයත්නයක යෙදුණහ.තව දින දෙකකින් එළඹෙන මිතුරියගේ උපන්දිනයට මා කුමන තෑග්ගක්  දිය යුතුදැයි කඳුළු පෙරමින් කල්පනා කරමින් සිටි මම ඇඳ මතට වැටී මහ හයියෙන් කෑගසා හඬන්නට පටන්ගතිමි. 

“දූ අඬන්නෙපා. අපි මෙයාව සෙලෝටේප් ගහලා හරි හදලා ගමු… තව දවස් දෙකක් තියෙනවනේ දූ. මං හදලා දෙන්නම්…”

හදිසියේ පහළ වූ තාත්තාගේ අදහසට පිංසිදුවන්නට හැඬීම නතර කළ මම තාත්තා වීදුරු කැබලි එකින් එක තබා යුනිකෝන් අශ්වයා නැවත සකස් කිරීමට උත්සාහ ගත්තේ ය. මඳ වේලාවක් බලා සිටි මම ද ඒ සඳහා උපකාර කිරීමට ගියෙමි. රැය පහන්වන තුරු නින්දක් නොමැතිව එය සකස් කෙරුවද පෙර සිටි යුනිකෝන අශ්වයා වෙනුවට හදිසි ප්‍රහාරයකට ලක් වූවාක් මෙන් ඇද වී ගිය අශ්වයෙක් ලැබුණෙන් මම නැවත හඬන්නට පටන්ගත්තේ මිතුරියට මෙය ලබාදීමට නොහැකි නිසාවෙනි. අසරණ බැල්මෙන් මගේ දෑසට එබී සිටි තාත්තා, “දූ අපි තව තෑග්ගක් ගමු.” කියා යෝජනා කළේ ය. එහෙත් එයටද මගේ හිත එකඟ නොවූයේ මිතුරියගේ මෙවර උපන්දිනයට යුනිකෝන් අශ්වයෙක්ම තෑගි කිරීමට මා කලක පටන් අදිටන් කරගෙන සිටි බැවිනි. පසුදින දහවල් වනතෙක් කනස්සල්ලෙන් සිටි මම නිවසේ අය සමඟ කතාවෙන් ද වැළකී සිටියෙමි. ඇඳ මත පෙරළී කල්පනා සාගරයේ ගිලී සිටි මා ප්‍රකෘති තත්ත්වයට පත් වූයේ තාත්තා හිස අතගෑමෙනි.

“දූ, තෑග්ගක් දෙන එක හොඳ වැඩක්. ඒකෙනුත් ඔයාගේ යාළුවා ආසම දෙයක් දෙන එක ගොඩක් හොඳයි. ඒත් තෑග්ගක් දෙද්දි ඒක ගොඩාක් ලස්සන මිල අධික දෙයක්ම වෙන්න ඕනි නැහැ. ඔයා හොඳ හිතින් ආදරෙන් යාළුවට දෙන තෑග්ග සර්ව සම්පූර්ණ වෙන්න ඕනි නැහැ. තේරුණාද දූට?”

තාත්තාගේ කතාවට සිහින්  සිනහවෙන් ප්‍රතිචාරයක් දැක්වූ මා නැවත ඇඳ මත පෙරළී නියපොතු හපමින් කල්පනා කරන්නට වීමි. 

සඳුදා උදා විය. අද මගේ මිතුරියගේ උපන්දිනයයි. පාසල් ඇඳුමින් සැරසුණු මා අත පාසල් බෑගයට අමතරව තවත් කුඩා බෑගයක් විය. ඒ කුඩා බෑගය අත්පත් කරගෙන එහි පතුලේ විවේක ගනිමින් සිටියේ තව සුළු මොහොතකින් මගේ මිතුරිය අතට පත්වීමට නියමිත ඇගේ උපන්දින තෑග්ගයි.

“නුමා, හැපි බර්ත්ඩේ…” 

මම තෑග්ග දිගු කරමින් මගේ යාළුවට සුබ පැතුවෙමි. ඇය විසල් දෙනෙතින් මහත් ආශාවෙන් තෑග්ග දෝතින්ම බදාගත්තා ය.

“ඒත්… නුමා, ඔතන කැඩුණු තෑග්ගක් වගේම ඇඳපු  තෑග්ගකුත් තියෙනවා… ඔයා ආස වෙයිද කියලා මට හිතාගන්න බැහැ. ඇත්තටම ඔයාට ගත්තු තෑග්ග මං අතින් කැඩුණා. අනේ මට සමාවෙන්න…”

මම පැවසූ දෙයට සාවධානව සවන් දුන් නුමා ඇගේ තෑග්ග විවර කර බැලුවා ය. තාත්තා අපහසුවෙන් සකස් කරන ලද වීදුරු යුනිකෝන් අශ්වයා දෙස ඉමහත් ආශාවෙන් බැලූ ඇය ප්‍රවේශමෙන් එය පාසල් ඩෙස්ක් එක මත තබා මා විසින් පසුව අඳින ලද යුනිකෝන් අශ්ව සිතුවම ද හදවතට තුරුළු කොට මෙසේ පැවසුවා ය.

“මේ යුනිකෝන්ලා  දෙන්නා අපි දෙන්නා වගේ. එක්කෙනෙක් කලබල නිසා අඬු කඩාගෙන. අනික් කෙනා කිසි කලබලයක් නැතුව නිවි හැනහිල්ලේ කඩදාසියක් උඩ නිදාගෙන ඉන්නවා… තැන්ක් යූ සෝ මච්. මං මේ දෙන්නවම පරිස්සමට බලාගන්නම්.”

මෙසේ කියූ ඇය කොක් හඬලා සිනාසෙන්නට පටන්ගත් අතර මම ද ඇගේ සිනාවට හවුල් වුණෙමි.

By Leo Sandupama Edirisinghe

Scroll to Top