මලයාලම් සිනමාව සැබැවින්ම මායාකාරයන්ගේ මායාවක් බව නැවත නැවතත් පසක් කරන දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන්ගේද නෙතඟට කඳුළක් එක්කළ සංවේදී සත්‍ය සිද්ධීන් දාමයන් පදනම් කොට නිර්මාණය කරන ලද 2018 මලයාලම් සිනමා සිත්තම 2018 වර්ෂයේ කේරළාවට ගැලූ මහා ගංවතුරෙහි භයංකරත්වයද ඒ හා සමගාමීව මිනිසුන්ගේ අව්‍යාජ මනුෂ්‍යත්වයද එකට කැටි වූ අපූර්ව හැඟීම් මාලාවකින් ගෙත්තම් වූ සුවිශේෂ චිත්‍රපටයකි.
ජූඩ් ඇන්තනි ජෝසෆ්ගේ අදියුරුවමෙන් සහ අකිල් පී.ධර්මජන් සමඟ එක් වී සිදුකළ පිටපත් රචනයෙන් හැඩ වූ මෙම සිනමා සිත්තම 2018: Everyone is a Hero යන නාමයෙන්ද හැඳින්වේ. පැය දෙකක් සහ මිනිත්තු 28ක ධාවන කාලයෙන් යුතු වූ 2018 තිරගත වීම ආරම්භ වූයේ 2023 වර්ෂයේ මැයි මස 05වන දිනය. මලයාලම් සිනමාවේ අතිශය ජනාදරයට පාත්‍ර වූ ටොවිනො තෝමස්, කුන්චකො බොබන්, අසිෆ් අලි, විනිත් ශ්රීරිනිවාසන්, නරෙයින්, ලාල් යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ තාත්වික රංගනයෙන් සමලංකෘත විය. කේරළයේ විවිධ පෙදෙස්වල මෙන්ම තිරුනල්වේලි සහ හයිද්‍රාබාද් ප්‍රදේශවල රූගතකිරීම් සිදුකෙරිණ.
2018හි කතා නායකයන් බොහෝය. හමුදා නිලධාරීන්ගේ මරණ එකදිගට දැකීමෙන් පීඩාවට පත්ව හමුදාව අතැර පලා ආ හමුදා නිලධාරි අනූප් ඉන් ප්‍රමුඛස්ථානය ගනියි. ඔහුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් තරුණයෝ ඔහුට උසුළු විසුළු කිරීමටද අමතක නොකරති. අනූප් දෑස අහිමි භාෂිගේ වෙළඳසැලට වී ඔහුට උපකාර කරමින් ඔහු සමඟ සිටියි. භාෂි නොදකින ඔහුට නොපෙනෙන එදිනෙදා සිද්ධි රසවත් ආකාරයට පවසන්නට උත්සුක වන අනූප් නිසා භාෂි නිතර සිනහවෙන් කල් ගෙවයි. ප්‍රේමණීය මලයාලම් සිනමාවේ ප්‍රේමයෙන් තොර ගලා යාම් අවම නිසා අනූප් සහ පාසල් ගුරුවරියක වන මංජුගේ සැහැල්ලු ආලයද නිදහසේ ගලා යන්නේ ආදරය පිළිබඳ වඩාත් පරිණත වූත් ආදරණීය හැඟුම් ජනිත කරවමිනි. මේ අතර තමිල්නාඩුවේ ජල හිඟය පිළිබඳ අනාවරණය කිරීමට ගිය නූරා යන මාධ්‍ය නිවේදිකාව සහ සේදුපති නම් ට්රක්රථ රියදුරා යන දෙදෙනාගේ කාර්යභාරයේ දසුන්ද රූපරාමු අතරින් ගලා එයි.
Read More
ධීවර ප්‍රජාවේ දිවි සැරිය පිළිඹිබු කරන දර්ශන අතර මාතාචන් නම් ධීවරයා සහ ඔහුගේ පවුල අනාථ වූ ධීවර පවුල් බේරාගැනීමට ක්‍රියා කරන අයුරුත් ඔහුගේ බාල පුත්‍රයා වන නික්සන් තම පවුලට පටහැනිව යමින් නිරූපණ ක්ෂේත්රය තම ආධිපත්‍යයට ගෙන ඒමට වෙර දරන අයුරු සහ එබැවින් මාතාචන් සහ නික්සන් අතර ඇතිවන අඩදබරවලින්ද මෙම සිනමා සිත්තම වර්ණවත් වී ඇත. මේ සියලු සිදුවීම් මධ්‍යයයේ හදිසියේ ඇති වන අධික වර්ෂාව හේතුවෙන් අනූප්ගේ විවාහයටද බාධා ඇති වේ. වර්ෂාව නිසා අවතැන් වූ පිරිස් පාසල්වලට පැමිණීමත් සමඟ මංජුද ඔවුන්ට පිහිට වීමට යයි. මේ අතරවාරයේ කෝෂි නම් ටැක්සි රියදුරා පෝලන්ත ජාතික යුවළක් කේරළාවේ සංචාරයට රැගෙන යන අතර අධික වර්ෂාව නිසා මාර්ගය අවහිර වීමෙන් අනූප්ගේ නිවසට ඔවුන් රැගෙන යයි. මංජුගේ සුවදුක් විමසා ඇය නිවසට රැගෙන යාමට පැමිණෙන අනූප් ගංවතුරෙන් අවතැන් වූවන්ට උපකාර කිරීමට පෙළඹෙන්නේ මංජු තම නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම බැවිනි. මෙහිදී ගර්භණී කාන්තාවක් තම දරුවා බිහි කිරීමට රෝහලට යාමට හැකියාවක් නොමැතිව තම වැඩිමහලු කුඩා දියණිය සමඟ අවතැන් කඳවුරේ සිටියි. මෙහිදී හමුදා හෙලිකොප්ටරයක් පැමිණියද අධික අඳුර සහ අහිතකර කාලගුණය හේතුවෙන් ගොඩබැසීමට හැකියාවක් නොමැතිව සිටියදී අනූප්ගේ මැදිහත්වීමෙන් එකී ගර්භණී කාන්තාව සහ කුඩා ළමයා ආධාරකය ආධාරයෙන් කිසිදු ආපදාවකින් තොරව හෙලිකොප්ටරය තුළට රැගෙන යයි. පරාජිතයෙක් සේ හාස්‍යයට ලක් වූ අනූප් තම පලා ගිය ධෛර්යය හා එඩිතරබව නැවත තමා වෙතට ළඟා කරගත්තේ අවදානාත්මක ජීවය සපිරි මනුෂ්‍යයත්වය මාර්ගයෙන්ය.
අනූප්ගේ නිවසේ සිට ඔහුගේ නිවැසියන් සමඟ විනෝදයෙන් කල් ගෙවන පෝලන්ත ජාතික යුවළ හරහා එම අදිසි මුණගැසීමේ සතුට සහ සැහැල්ලුව ප්‍රේක්ෂකයාගේ සිතෙහිද ජනිත වේ. මෙම සැහැල්ලුජනක රූපරාමුවෙන් මාතාචන් ඇතුළු පවුලේ පිරිස ධීවර ප්‍රජාවට සහාය වන අයුරු සහ නිරූපණ ක්ෂේත්රයට ගිය නික්සන් නැවත පැමිණ තම පියාට සහාය වන රූපරාමුවට මාරු වේ. නිරන්තරව ප්‍රේක්ෂක මනසෙහි චිත්තවේග වෙනස් කරමින් කේරළයේ ගංවතුරෙන් අවතැන් වූ ජනයාගේ ශෝකය, අසරණභාවය මෙන්ම තම උවදුරෙන් ගොඩඒමට අසීමාන්තිකව කැප වෙන ආකාරයද එකිනෙකා ඔවුනොවුන් කෙරෙහි කැපවෙමින් ලාභ ප්‍රයෝජන නොතකා දයානුකම්පාවෙන් උපකාර කරන අයුරුද ස්වභාවධර්මයාට වෛර නොකර ස්වභාවධර්මයෙන් එල්ල කරන ලද තෙත වෙඩි උණ්ඩ වරුසාවට කරුණාභරිත හදවත්වලින් යුක්තව මුහුණ දෙන මෙම නිර්භය මිනිසුන් කෙරෙහි ආඩම්බරයක් උපදවාගන්නා ප්‍රේක්ෂකයාගේ හෘදයෙහි රුධිරය උතුරා පුපුරායාමට ආසන්න වන්නේ ගංවතුරෙන් පීඩාවට පත් මිනිසුන්ට උපකාර කරන අතරතුර නොසිතූ මොහොතක තම ධෛර්යයවන්ත මිනිස් සිරුරු අඩපණ කරගන්නා මාතාචන්ගේ සහ අනූප්ගේ ඛේදනීය අවසන් ගමන් හේතුවෙනි.
පුරා හෝරා දෙකකුත් මිනිත්තු විසි අටක් මුළුල්ලේ නොයෙක් සිද්ධිදාමයන් ඔස්සේ තම ජීවන මංපෙත වටා කැරකෙන නේක මිනිසුන් ස්වභාවික ආපදාවක් නිසා එකම අරමුණක් ඔස්සේ තම සිත සහ මනස මෙහෙයවමින් කුලභේද, එදිරිවාදිකම් යන පටු මානසික රාමුවලින් මිදී මනුෂ්‍යයාගේ යහපැවැත්ම උදෙසා කැපවන අපූර්ව වූත් මානුෂීය වූත් 2018 ගංවතුර යුද්ධයෙන් සාක්ෂි සහිතව සනාථ කරනුයේ සියලුදෙනාම වීරයන් බවය.
author
Leo Sandupama Edirisingha
Post Views: 88